පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

May 15, 2025   11:08 am

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත.

ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ.

54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් එම තනතුර දැරීය.

එම කාලය තුළ දසනායක අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් සඳහා එක්දින වරම් හිමිකර ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයක් ඇති කිරීමට දායක විය.

එළැඹෙන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා ඇති හෙයින්, තවත් අන්තර්ජාතික තරගාවලි වලදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිය දායකත්වය ලබා දීමට පුබුදු දසනායක බලාපොරොත්තුවෙන් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුබුදු දසනායක පවසා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපද පිරිමි ජාතික කණ්ඩායමට නැවත පැමිණීමට සහ නායකත්වය දීමට ලැබීම තමන්ට ගෞරවයක් බවත් මීට පෙර තමන්ගේ මෙහෙයවීම යටතේ ලබා ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ආඩම්බර වන අතර, ඉදිරියේදී  ඊටත් වඩා ඉහළ මට්ටමකට ළඟා වීමට කැපවීමෙන් කටයුතු කරන බවය.

පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබේ.