කාන්තාවන්ගේ රන් මාල සොරාගන්නා කල්ලියක් කොටුවෙයි

කාන්තාවන්ගේ රන් මාල සොරාගන්නා කල්ලියක් කොටුවෙයි

May 15, 2025   04:27 pm

යතුරුපැදි වලින් ගමන්ගන්නා කාන්තාවන්ගේ ගෙලබැදි රන් මාල සොරාගන්නා කල්ලියක් තඹුත්තේගම පොලීසියේ නොවිසදුනු අපරාධ අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත.

රාජාංගනය ප්‍රදේශයේදී පැති කණ්නාඩි සහ අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් ගැන පොලිස් නිලධාරීන්ට සැක සිතී සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී, එය සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම යතුරුපැදියේ ගමන්ගත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්නකිරීමේදී තවත් සැකකරුවන් තුන්දෙනෙකු සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී තියුණු ආයුධ දෙකක්, සොරකම්කරන ලද අංක තහඩු සහ පැති කරුණාඩි නොමැති තවත් යතුරුපැදි තුනක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් විසින් යතුරුපැදි යොදාගෙන පාරේ යතුරුපැදි වලින් ගමන්ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලීසිය විසින් අනාවරණය කරගත් කරුණු අනුව අනුරාධපුර, ගල්ගමුව, වාහල්කඩ, කහටගස්දිගිලිය, තලාව යන ප්‍රදේශවලින් සොරාගන්නා ලද යතුරුපැදි තුනක් සමග රන්මාල පහක් සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමටට නියමිතය.

වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලීසිය නොවිසදුනු අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.