ආසියානු යෝගාසන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 ක්

ආසියානු යෝගාසන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 ක්

April 29, 2025   01:29 pm

02 වන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගනිමින් අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ආසියානු රටවල් 21ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ දී පසුගිය 25 දින සිට 27 දින දක්වා පැවැත්වුණි.

එහිදී මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් අතරින් 10 දෙනෙකුම මෙම තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එලෙස පදක්කම් දිනා ගත් ඔවුන් සියලු දෙනාම පාසැල් සිසුන් වීම ද මෙහිදී විශේෂත්වයකි.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන් සහ ශ්‍රි ලංකා යෝගාසන ෆෙඩරේෂනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.