සිරි දළදා වන්දනාව 9වන දිනය ඇරඹෙයි
April 26, 2025 11:05 am
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා වන්දනාව' 9වන දිනය අදයි.
සිරි දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වූ අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙයි.
සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝ වාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාවුණේ පසුගිය 18වනදා ය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එලෙස වැඳපුදාගැනීමට වරම් හිමිවුණේ වසර 16කට පසුවය.
ඒ අනුව මේ දක්වා දින 8ක් පුරාවට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකට උත්තම සිරි දළදා වහන්සේ වැදපුදා ගැනීමට භාග්‍ය හිමිවුණි.
සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් තවමත් දිගු පෝලිම්වල රැඳී සිටී.
කෙසේවෙතත් මේ වනවිටත් මහනුවර නගරයට ලක්ෂ 4කට අධික පිරිසක් පැමිණ ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු “සිරි දළදා වන්දනාව“ සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස සිරි දළදා වන්දනාවේ මෙහෙයුම් කමිටුව ජනතාවට දැනුම්දී තිබේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා වූ සිරි දළදා වන්දනාව හෙටින් අවසන් වීමට නියමිතය.