දේශබන්දුට එරෙහි කමිටුවේ සහායට දිලීප පීරිස් ඇතුළු නම් දෙකක්
April 25, 2025 04:41 pm
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙයි.
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතුවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මඟින් දැනුම් දෙනු ලැබුණි.
මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙසේ දැනුම්දීම සිදුකෙරිණි.
එසේම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කොට ඇති අතර අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.
ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව 2025.04.28 දින නැවත රැස්වීමට තීරණය කෙරිණි.