සයුරෙන් එතෙර
අමෙරිකානු උප ජනපති සහ ඉන්දීය අගමැති අතර රහස් සාකච්ඡාවක්
April 22, 2025 08:04 pm
ඉන්දියාවේ සංචාරයක නිරත අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සහ ඉන්දීය අගමැති මෝදි අතර ඉතා පෞද්ගලික සාකච්ඡාවක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ලොව වැඩි අවධානයකට ලක්වී ඇති මාතෘකාවක් බවට පත්වී ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
ඉන්දියාවේ දින 4ක නිල සංචාරයක් අරඹමින් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් ඉන්දියාවට ළඟා වුණේ ඊයේ දිනයේ දී ය.
එහිදී අමෙරිකානු උප ජනාධිපතිවරයාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.
සංචාරය අතරතුරදී අමෙරිකානු උප ජනාධිපති, ඔහුගේ බිරිඳ සහ දරුවන් ඉන්දීය අගමැති මෝදි හමුවුණි.
උප ජනාධිපතිවරයාගේ මෙම සංචාරය මෙම වසර අවසානයේ දී සිදුවීමට නියමිත අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරයට අඩිතාලමක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර අමෙරිකානු උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ දී සංචාරයක නිරත වී තිබේ.
එහිදී ඔවුන්ට රාජස්ථාන සම්ප්‍රදායට අනුව යමින් සංවිධාන කළ විචිත්‍රවත් පිළිගැනීමක් හිමිවුණි.
සිය අමෙරිකානු සංචාරය අතරතුර දී ජේ.ඩී වෑන්ස් ටජ්මහල් වෙත සංචාරය කිරීමටත් නියමිතය.
ඉන්දිය මාධ්‍ය වාර්තා කරන පරිදි මෝදිගේ හමුවීම වෑන්ස්ගේ දරුවන්ට ප්‍රීතිමත් අවස්ථාවක් වූ අතර ඔවුන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස තුළ නොයෙකුත් ක්‍රීඩා කරමින් කාලය ගතකර තිබේ.
මෝදි විසින් ඔවුන්ට මොණර පිහාටු තෑගි කර ඇති අයුරු ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
අමෙරිකානු උප ජනාධිපතිගේ බිරිඳට මෙය සුවිශේෂී අවස්ථාවක් වූ අතර ඊට හේතුව ඇය ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් වීමය.