සිරි දළදා වන්දනාවට එක්වන සැදැහැවතුන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරයි
April 22, 2025 05:04 pm
සිරි දළදා වන්දනාවට එක්වීම සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ දැනට ලබාදෙන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේය.
ඊයේ (21) දිනට වඩා අද (22) දිනයේදී සිරි දළදා වන්දනාවට එක්වන පිරිසගේ ඉහළයෑමක් පෙන්නුම් කරන අතර එය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වැඩි වෙනු ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ඒ අනුව පහසුකම් සැලසීමට අදාළ සංවිධාන ජාලය පුළුල් කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේය.
"සිරි දළදා වන්දනාව නිමිත්තෙන් මහනුවර නගරයට පැමිණෙන ජනතාවගේ සියලු පහසුකම් පිළිබඳව අද උදෑසන මම සොයා බැලුවා. පැයක පැය එකහමාරක වගේ කාලයක් ගත කරලා කටුගස්තොට පාරෙත් අම්පිටිය පාරෙත් ඒ වගේම සියලුම තැන්වල ඉන්න ජනතාවට පහසුකම් පිළිබඳ සොයා බැලුවා. විශේෂයෙන්ම කියන්න සතුටුයි...අපේ සංවිධාන ජාලය හරහා සියලු ආයතනවල දෙන සහයෝගය මත ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය සහ ආහාරවල අවශ්‍යතාව සපුරලා තිබුණා. ඒ ගැන අපි සතුටු වෙනවා."
"ඒ වගේම ඔවුන්ට ආහාර ලබාදෙන වැඩසටහන අපි කඩිනමින් සකස් කරලා තියෙනවා. ගඟවටකෝරළයේ ප්‍රාදේශීය ලේකම් හරහා, සියලුම ප්‍රාදේශීය ලේකම්වරු හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා."