GSP+ සහනය අපි රැක ගන්න ඕනේ - සජිත්
April 13, 2025 09:59 pm
GSP+ බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිදහස් වෙළෙඳ කළාප වෘත්තීය සංගම් සහ පොදු සේවක සංගම්වල සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළේය.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පවසා සිටියේ, GSP+ බදු සහනය රැකගැනීම සඳහා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවයි.
මෙම බදු සහනය මෙරට අපනයන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සාධකයක් බවද ඔහු පෙන්වා දෙයි.
මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
"GSP+ සහනය කියන්නේ අපේ රටට අතිශයෙන්ම වැදගත් සහනයක්. හැබැයි මේ සහනය කොන්දේසි සහිතව ක්‍රියාත්මක වෙන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් වෙන්නේ ඕනේ, යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වෙන්නේ ඕනේ, සංහිඳියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ වගේම පරිසර කේන්ද්‍රය කොන්දේසි ගණාවක් තියෙනවා. මේ මානව අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් ඇතුළු මේ ප්‍රඥප්තීන් ටික අනුගමනය කිරීමට රජය අපොහොසත් වෙනවානම් GSP+ එකත් අපිට අහිමි වෙනවා.
GSP+ සහනය අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ මාසය අවසානයේ දූත කණ්ඩායම පැමිණෙනකොට උපරිම උත්සහය දරලා මේ සහනය අපි රැක ගන්න ඕනේ. එහෙම නැතිනම් අපේ අපනයන ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය ලොකු අමාරුවක වැටෙනවා.
ඒ වගේම ඒ සහනය ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අපිට සිදුවෙනවා සපුරාලන්න ඕනේ කොන්දේසි පිළිබඳ අපේ ස්ථාවරය ඉදිරිපත් කරන්න" යැයි පැවසීය.