අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
April 15, 2025 01:32 pm
පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මරණ පවා ඇති විය හැකි අවදානමක් පවතින බවය.
මේ හේතුවෙන් දීර්ඝ කාලීන රෝග සහිත පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නන්න්දන දික්මාදුගොඩ මහතා,
"අතරින් පතර වැස්ස තිබුණත් අපිට දැනෙනවා දැඩි රස්නයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි එළියේ පවතින වලාකුළු නිසා අවට තියෙන ජල වාශ්ප ඉහළට යන්නේ නැති නිසා පරිසරයේ ජලවාශ්ප ප්‍රමාණය ඉතා අධිකයි. ඒ නිසා අපිට දැඩි දහඩියක් දමන තත්ත්වයක් පවතිනවා.
ඒ නිසා ඔබ එලියකට ගමන් කළොත් දැඩි හිරු රෂ්මියකට ලක්වෙනවා. මේ නිසා සෞඛ්‍ය ප්‍රශ්න කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය අධික වීම නිසා එළියේ වැඩකරන අයට අපහසුතා දැනෙන් පුළුවන්. ඔළුව කරකැවිල්ල, ඇඟපත වේදනාව වගේම අධික දහඩිය දැමීමක් ඇතිවන්න පුළුවන්.
මූලික අවස්ථාවේදී මේ තත්ත්වය පවතින්න පුළුවන් නමුත් මෙහි දරුණු තත්ත්වක් පවතිනවා අපි සඳහන් කරන තාප කම්පන තත්ත්වයට යාමෙන් අපි සියලු දෙනාම වළකින්න ඕනේ. මේ තත්ත්වය මරණය දක්වා යන්න පුළුවන් තත්ත්වයක්.
විශේෂයෙන් කුඩා ළමයින්, වැඩිහිටියන් වගේම දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින්ට මේ තත්ත්වය බලපාන එක අනික් සාමාන්‍ය අයට වඩා වැඩිවෙන්න පුළුවන්. එම නිසා එම තත්ත්වයන් පවතින අය සහ කුඩා දරුවන් තාපයට නිරාවරණය වෙන එක හැකි තරම් වළක්වා ගන්න.
එළියට යන්න අත්‍යවශ්‍ය නම් ඔබ ඒ තාපයෙන් වැළැකීම සඳහා කුඩයක් හෝ විශේෂ ඇඳුම් පාවිච්චි කිරීම අවශ්‍යයි. ශරීරයේ දහඩිය දැමීමට අපි ඉඩ දෙන්න ඕනේ. මේ දහඩිය ශරීරයෙන් පිටවීමේදි ශරීරයේ උෂ්ණත්වය පහළ යනවා.
ඒ වගේම දියර වැඩියෙන් පානය කරන්න ඕනේ. කුඩා දරුවන්ට පාසල් යනවානම් වතුර බෝතල් දෙකක් දෙන්න. ඒ වගේම අනික් පුද්ගලයින්ටත් දියර වැඩියෙන් පානය කිරීමට දෙන්න. විශේෂයෙන් දියර ගැන සඳහන් කළාම කැඳ, සුප්, තේ, ජීවනී වැනි සීනී, ලුණු, ලවණ තියෙන දේවල් වඩාත්ම වැදගත්."