දෙවුන්දර ද්විත්ව ඝාතනය ගැන සැකකරුවන්ගෙන් පාපොච්චාරණයක්
April 13, 2025 08:10 pm
දෙවුන්දර ද්විත්ව ඝාතනයට මුල කාවඩි නර්තනයක් අතර ඇතිවූ බහින්බස් වීමක් බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අනාවරණය කර තිබේ.
දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක්, තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කරනු ලැබුවේ, මාර්තු 21වනදා රාත්‍රියේදීය.
එහිදී එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණේ දෙවුන්දර ප්‍රදේශයේම පදිංචි "දෙහිබාලේ මල්ලි" නැමැති පුද්ගලයෙකුටයි.
මෙම ඝාතනය සඳහා පැමිණි ප්‍රධාන සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍යය ඝාතන සහ සංවිධානාත්මක විමර්ශන ඒකකය රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී
ඔවුන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු වෙඩික්කරුවන් පැමිණි රථයේ රියදුරු වන අතර අනෙක් සැකකරු වෙඩික්කරුවෙකි.
එමෙන්ම, රථයේ රියදුරු "දෙහිබාල මල්ලි" නැමැත්තාගේ ඥාතියෙකු බවත්, ඔහු "දෙහිබාල මල්ලි" නැමැත්තාට අයත් බෝට්ටුවල ලේඛන කටයුතු භාරව සිටින පුද්ගලයා බවටත් තොරතුරු අනාවරණ වී තිබේ.
ප්‍රශ්නකිරීම්වලදී සැකකරුවන් අනාවරණය කර ඇත්තේ, තමන් දෙදෙනාද ඇතුළුව මෙම ඝාතනය සඳහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණි බවය.
ඒ අතරට කොළඹ සිට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ද අයත් බව ඔවුන් පොලීසියට පවසා තිබේ.
කෙසේ වෙතත් සැකකරුවන් පවසා ඇත්තේ, එම වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොදන්නා බවය.
එමෙන්ම මෙම ඝාතන සඳහා කිසිදු මුදලක් අයකර නැති බවත් වෙඩිතැබීම සිදුකර ඇත්තේ, මිත්‍ර සබඳතාවකට බවයි.
එමෙන්ම තරුණයින් දෙදෙනාගෙන් මියගිය යොමේෂ් නදීශාන් ඝාතනය කර ඇත්තේ දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුමක් අතරතුර "දෙහිබාල මල්ලි" නැමැත්තාගේ සහෝදරයාගේ ඇඟේ වැදීම හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් බව සැකකරුවන් මෙහිදී අනාවරණය කර තිබුණි.
පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, කාවඩ් නැටුමෙන් අනතුරුව "දෙහිබාලෙ මල්ලිගේ" සහෝදරයා විදෙස්ගතව වී ඇති බවත්, ඔහු සහ යොමේෂ් අතර දුරකථනය ඔස්සේ බහින්බස් වීම් සිදුව ඇති බවය.
එමෙන්ම, වෙඩිතැබීම සිදුකර ඝාතනය සඳහා පැමිණි වෑන් රථය ගිනි තැබුවේ දෙහිබාල මල්ලිගේ උපදෙස් මත බව ද සැකකරුවන් පොලීසියට අනාවරණය කර තිබේ.
මෙම ද්විත්ව ඝාතන සඳහා යොදාගත් T 56 වර්ගයේ ගිනිඅවි දෙක විමර්ශන නිලධාරීන් සොයාගත්තද මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවිය මෙතෙක් හමුවී නැත.
සැකකරුවන් පවසා ඇත්තේ, එම ගිනිඅවි තමන්ට ලැබුණේ වෙඩිතැබීමට පෙර දින බවයි.
එමෙන්ම ආරක්ෂක අංශවලින් මිදීමට "දෙහිබාල" නැමැත්තාගේ බෝට්ටුවල සහ විවිධ ස්ථානවල සැඟව සිටියත් ඔවුන් සොයා සිදුකළ විමර්ශන දැඩි වීමත් සමග තමන් විමර්ශන නිලධාරීන්ට භාරවූ බවත් සැකකරුවන් එහිදී පවසා තිබුණි.
සිද්ධියට සම්බන්ධ වැඩිදුර විමර්ශන තවදුටරත් ක්‍රියාත්මකයි.