වැලිකඩ පොලිස් ස්ථානාධිපති එම ධුරයෙන් ඉවත් කිරීමට යයි
April 6, 2025 05:20 pm
වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත අද (6) යොමුකර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් මේ බව දන්වා සිටියේය.
මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
ඉකුත් 1වනදා රාත්‍රියේ දී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේය.
එම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදුකරනු ලබයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්කිරීමට මෙම නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත්කර තිබේ.