රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල් කිරීමට අවධානය
April 6, 2025 01:42 pm
මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් රෝගීභාවයට පත්වන පුරවැසියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල තුළින් ලබා දීම මෙන්ම පුරවැසියාට සුවපහසු සමීප තැනක් බවට රෝහල පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීම් සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමින්ය.
සමස්ත රාජ්‍ය සේවාව ම ඩිජිටල්කරණට ලක්කර මහජනතාවට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බව පැවසූ අමාත්‍යවරයා ලක්ෂ එකහමාරක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තොරතුරු ඇතුළු මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට තාක්ෂණය යොදා ගැනීම, ඩිජිටල් සෞඛ්‍ය වාර්තා වඩා සම්බන්ධයක් සහිත ව දියුණු කිරීම, ඖෂධ සැපයුම් ජාලය තාක්ෂණය සමඟ විධිමත් කිරීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවද මෙහි දී අවධාරණය කළේය.