ජීවිත බිලිගත් මාරක අනතුරු

ජීවිත බිලිගත් මාරක අනතුරු

April 6, 2025   11:43 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 05 හැවිරිදි දැරියක්, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (05) එම අනතුරු සිදුව තිබුණේ මහබාගේ, මැල්සිරිපුර සහ පල්ලෙකැලේ පොලිස් වසම්වලින්ය.

මහබාගේ පොලිස් වසමේ වැලිසර ප්‍රදේශයේදී  මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් තිදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවන් තිදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් දරුවෙකු මියගොස් ඇත.

අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එලෙස මියගොස් ඇත්තේ, වැලිසර, රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි කුඩා දැරියකි.

අනතුර සිදු කරන ලද මෝටර් රථ රියදුරු යතුරුපැදිකරුවෙකු පසු සප හබා යන අවස්ථාවේ එම යතුරුපැදිකරු ඉන් බේරීම සඳහා අතුරු මාර්ගයකට යොමු කර තිබේ.

අනතුරුව යතුරුපැදිය අනතුරට ලක්කිරීමට මෝටර් රථය වම් පස වංගුවට ගන්නා අවස්ථාවේදී ඒ අසල නිවසක් ඉදිරිපිට සිටි කුඩා දරුවන් තිදෙනෙකු මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු මෝටර් රථය අනතුර සිදු වූ ස්ථානයේ අතහැර දමා පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මහනුවර - පදියතලාව මාර්ගයේ බලගොල්ල රතුකුරුස හන්දිය ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් කාන්තාව බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවකි.

මේ අතර දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ කොස්කැලේ ප්‍රදේශයේ දී  සිදුවූ රිය අනතුරකින් 76 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.