මොහොතකට හැර ගිය සෙවණැල්ල

මොහොතකට හැර ගිය සෙවණැල්ල

April 7, 2025   12:52 pm

සාමාන්‍ය කට වහරේ කියවෙන කතාවක් තමයි "අඳුරේදී ඔබගේ සෙවණැල්ල වුව ඔබව හැරදා යයි" කියන එක.

ඒත් අද (07) හිරුඑළිය පතිතව තිබියදීම දහවල් 12.12ට එළිමහනේ සිටින කොළඹ පදිංචිකරුවන්ගේ සෙවණැල්ලත් කෙටි වේලාවකට අතුරුදන්වුණි.

මීට හේතු වුණේ ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන් වීම හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවණැල්ල නොපෙනී යාමයි.

පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණයේදී ඇතැම් අවස්ථාවල පෘථිවියේ ඇතැම් ස්ථානවලට හිරු මුදුන්වීම සිදුවේ.

එවන් අවස්ථාවල පෘථිවියේ එම ස්ථානවලට හිරු කිරණ සිරස්ව එල්ලවීම නිසා අදාළ ස්ථානවල පවතින වස්තූන්ගේ සෙවණැල්ල තාවකාලිකව අතුරුදන්වනවා.

එවන් දින හඳුන්වන්නේ Zero Shadow Day ලෙසයි.

ඉකුත් අප්‍රේල් 4 වැනිදා දෙවුන්දර තුඩුවෙන් සූර්යයා මුදුන් වීම ආරම්භ වූ අතර අප්‍රෙල් 15 වැනිදා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලට දහවල් කාලයේ සූර්යයා මුදුන් වේ.

ජනාකීර්ණ කොළඹ නගරයට අද දිනයේ සූර්යයා මුදුන් වූ අතර එහි උච්චතම අවස්ථාව මධ්‍යහ්න 12.12ට උදාවුණි.

ඒ අනුව එම වේලාවේදී යම් වස්තූන්වල සෙවණැල්ල මෙන්ම අතර එළිමහනේ සිටින අයගේ සෙවණැල්ල එක් මොහොතකට අතුරුදන් වුණි.

මෙය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා ඇතුළු පිරිසක් කොළඹ මහානගර සභා පරිශ්‍රයට එක්ව සිටියේය.

අඩියක් පමණ වන කම්බි කූරක් වැනි යමක් මධ්‍යහ්නට පෙර එළිමහනේ සෘජුව සිටවා එහි සෙවණැල්ල අධීක්ෂණය මඟින් මේ තත්ත්වය නිරීක්ෂණය කෙරුණි.

ගාල්ල සහ අනුරාධපුර ප්‍රදේශවල ජනතාවත් අද සෙවණැල්ල නොපෙනී යාමේ සංසිද්ධිය නිරීක්ෂණය කරන ආකාරය දක්නට ලැබුණි.

මෙම සංසිද්ධිය හෙට දිනයේදී නයිනමඩම සහ මහියංගනය යන ප්‍රදේශවල ජනතාවට අත්දැකිය හැකි වන බව තාරකා විද්‍යාඥයින් පවසයි.