අන්තරේ කැඳවුම්කරු සහ තවත් අයෙක් රිමාන්ඩ්

අන්තරේ කැඳවුම්කරු සහ තවත් අයෙක් රිමාන්ඩ්

March 28, 2025   04:00 pm

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපටදී විරෝධය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් එළැඹෙන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

එහිදී අමාත්‍යංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (27) දහවල් විරෝධතාවයක නිරත විය.

එහිදී නියෝජිතයින් 08 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.