දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

March 27, 2025   07:45 am

දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි ආශ්‍රිත ප්‍රදේශවලට යාමෙන් හැකිතාක් වළකින ලෙස එරට සිටින ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ දැනට ලැව්ගිනි පැතිර යන කලාපවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවය.

විවෘත ගිනිදැල් සහිත උපකරණ සහ ගිනි ගන්නා ද්‍රව්‍ය සහ දැවෙන සුළු ද්‍රව්‍ය භාවිත කිරීම අවම කරන ලෙස ද දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

දකුණු කොරියාවේ දැනට පවතින ලැව්ගිනි හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති අතර ඕනෑම හදිසි අවස්ථාවකදී 2 735 2966, 2 735 2967 සහ 2 794 2968 යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයින්ට දැනුම්දිය හැකි බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

දකුණු කොරියාවේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර 23,000කට අධික පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.