දේශබන්දුට එරෙහිව ආණ්ඩුව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

දේශබන්දුට එරෙහිව ආණ්ඩුව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

March 26, 2025   11:35 am

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම යෝජනාව ඉදිරයේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවකදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබේ.

එලෙස සාකච්ඡාවට ගත් යෝජනාව දින 05කට පසු පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීක් සිදුකරනු ලබයි.

එහිදී එම යෝජනාවට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබේ.

ඉන්පසු සම්මත් එම වූ යෝජනාව සම්බන්ධයෙන් කථානාකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරනු ලබයි.

එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සන් ලබාගෙන  කථානායකවරයා වෙත ඊයේ (26) භාර දුනි.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබේ. 

රාජකාරි කටයුතු අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට මාර්තු 19 වන දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.