මිහින්තලා විහාරාධිපති හිමි කනස්සල්ලෙන්

මිහින්තලා විහාරාධිපති හිමි කනස්සල්ලෙන්

March 25, 2025   12:36 pm

පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රට තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට එම ඇතැම් නිලධාරීන් ක්‍රියා කරන බවද නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

උන් වහන්සේ මේ බව කියා සිටියේ, අද (25) පෙරවරුවේදී මිහින්තලා පුදබිමේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ධම්මරතන හිමියන් මෙම මාධ්‍ය හමුව සිදුකරමින් තවදුරටත් කියා සිටියේ, ඊයේ (24) රාත්‍රියේදී බීමත්ව ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට පැමිණි පිරිසක් විසින් එහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට හා එම පිරිස ගමන් ගත් වෑන් රථයකට ස්වාමීන් වහන්සේ නමක් යට කිරීමට උත්සාහ දරා ඇති බවය.

මිහින්තලා පුදබිමේ පුරාවිද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හය දෙනෙකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිලධාරින්ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇති බවද ධම්මරතන හිමියන් පවසයි.

ඓතිහාසික මිහින්තලා පුදබිම විශාල භූමි භාගයක පිහිටා තිබෙන බැවින් එම පුදබිමේ පවතින පුරාවස්තුවලට අනාරක්ෂිත භාවයක් පවතින බව ද පවසන නායක හිමියන් තවදුරටත් කියා සිටියේ, ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකරන බවය.