මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

March 25, 2025   09:50 am

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බවය.

ඒ අනුව පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

තවද මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙත පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධව ද පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව එම පුවරුව ගලවා ඉවත් කිරීමට මහවෙල පොලීසිය විසින් කටයුතු කර තිබේ.