උත්සව සමයයේදී පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්

උත්සව සමයයේදී පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්

March 24, 2025   04:30 pm

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ අදාළ වැටලීම් අප්‍රේල් මස 25 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

එහිදී හෙට (25) දිනයේ සිට ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කරමින් කල් ඉකුත් වූ ආහාර හා තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමටත් උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සඳහාත් කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම අදාල කාලසීමාව තුළදී සුපිරි වෙ‍ෙළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙ‍ෙළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතය. 

අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අමතරව ඇඳුම් පැළඳුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ මෙම කාලසීමාව තුළදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවි වන බැවින් එවැනි වෙ‍ෙළඳසැල් සම්බන්ධව ද වැඩි අවධානයන් යොමු කරන ලෙස නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත. 

අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව සිදුකරනු ලබන වැටලීම්වලදී කීරි සම්බා සහ සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම හා සඟවා තබා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම මෙම කාලසීමාව තුළදී අන්තර්ජාලය හරහා සිදුකරන මිලදී ගැනීම්වලදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට නියමිතය.

තවද මෙම කාලසීමාව තුළ වෙළෙඳසැල් වැටලීම් සහ විමර්ශන සඳහා විශේෂ කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කරනු ලබන අතර වැරදි සිදු කරනු ලබන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 

පාරිභෝගික අධිකාරිය පැවසුවේ උත්සව සමය තුළදී පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු කාර්යාල වේලාව තුළදී 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ එම අධිකාරිය වෙත පැමිණිලි කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීමටත් හැකියාව ඇති බවය.