අතුරු සම්මත ගිණුමේ මුදල් තවදුරටත් වලංගු නෑ - මුදල් අමාත්‍යංශය
March 23, 2025 02:12 pm
මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402 ක අතුරු සම්මත ගිණුමක් පසුගිය දෙසැම්බර් මස 06 වන දින නව රජය විසින් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබීය.
එහිදී රජයේ කාර්යයන් හා ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 976ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කෙරුණු අතර ඉන් වැඩිම මුදල වූ රුපියල් බිලියන 220ක් ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට වෙන් කෙරුණි.
කෙසේවෙතත් 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග මෙම වර්ෂය තුළ වියදම් දැරීම සඳහා අධිකාරී බලය ලබාදෙමින් මුදල් අමාත්‍යංශය විසින් රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව මෙවර අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වියදම් යෝජනා මගින් අපේක්ෂිත ප්‍රතිඵල නියමිත කාලරාමුවක් තුළ මහජනතාව වෙත ලබාදීම සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව අතුරු සම්මත ගිණුම මගින් ඒ ඒ වැය විෂය යටතේ වෙන් කර තිබූ ප්‍රතිපාදන ද ඇතුළත් කරමින් මෙවර විසර්ජන පනත සකස් කර ඇති බැවින් මේ වර්ෂය තුළ දරණු ලබන වියදම් විසර්ජන පනතට අනුකූලව සිදුවිය යුතු බවයි මුදල් අමාත්‍යංශය පෙන්වාදෙයි.
2025 වර්ෂයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ඇතැම් අතිරේක ප්‍රතිපාදන නිකුත් කිරීම් ද ඇතුළත් කර වාර්ෂික වියදම් සීමාවන් නිර්ණය කර ඇති අවස්ථාවල දී ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් පෙර නිකුත් කරන ලද අතිරේක ප්‍රතිපාදන ලිපි අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇති බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.
එමෙන්ම පසුගිය දෙසැම්බර් 06 වන දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම මගින් සලසන ලද ප්‍රතිපාදනවල යම් ඉතිරියක් ඇත්නම් එය තවදුරටත් වලංගු නොවන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වාදෙයි.