හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්

හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්

March 18, 2025   07:42 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "හරක් කටා" නැමැත්තාට පලායාම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඉන්දියාවට පලාගොස් පසුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනාත්මක වන කටයුතුවල නිරත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය අද (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටි කාලයේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක කටයුතුවලට නිරත වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට  ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බව එම නිලධාරීන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත. 

ඒ අනුව අදාළ තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය  අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. 

ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද එම හිටපු කොස්තාපල්වරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරේ. 

මෙම කොස්තාපල්වරයාට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙන අතර ඔහුට එරෙහි නඩු විභාගයේ අප්‍රේල් මස 03 වන දා පැවැත්වීමටද කොළඹ මහාධිකරණය ඊයේ (17) නියම කළේය.