බස් චණ්ඩි මට්ටු කළ මීගහතැන්න පොලීසියට මගීන්ගෙන් ප්‍රශංසා
March 18, 2025 04:11 pm
මතුගම, ලිහිනියාව ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට තවත් බස්රථයක පිරිසක් විසින් පහරදී තිබේ.
කොළඹ සිට නෙළුව බලා ධාවනය වූ බස් රථයකට අද (18) පෙරවරු 7.40ට පමණ මෙම පහරදීම සිදුකර ඇත්තේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ බස් රථයක රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසක් විසින් බවට වාර්තා වෙයි.
එහිදී තුවාල ලැබූ බස් රථයේ රියදුරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
නෙළුව බලා ධාවනය වූ බස් රථයට හොරවල ප්‍රදේශයේදී මගියෙකු නංවා ගැනීම සම්බන්ධයෙන් එම බස් රථය පිටුපසින් පැමිණි මතුගම සිට අවිත්තාව බලා ධාවනය වූ බස් රථයේ රියදුරු බැණ තර්ජනය කර තිබූ බව වාර්තා වෙයි.
පසුව එම බස් රථයේ රියදුරු එම අවස්තාවේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ තවත් බස් රථයකට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවත් පැවසෙයි.
අනතුරුව මතුගම ලිහිනියාව ප්‍රදේශයේදී නෙළුව - කොළඹ බස්රථයට මාර්ගය හරස් කර නතර කර පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් කඩාවැදී යකඩ පොලුවලින් අදාළ බස් රථයට පහරදී ඇත.
බස් රථයේ සිටි මගීන් භීතියට පත් කරමින් එහි රියදුරුට පහරදීමට බස් රථයේ වසා තිබූ දොර විවෘත කරගැනීමට ද ඔවුන් උත්සාහ කර තිබූ බවත් වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ මීගහතැන්න පොලීසිය පහරදීම සිදුකළ බස් රියදුරු හා කොන්දොස්තරවරයා ඉතා කෙටි කාලයක් තුළ මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර රියදුරු හා කොන්දොස්තරවරයා හෙට (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මීගහතැන්න පොලීසිය පැවසීය.
මගීන්ගේ ජීවිත ද අනතුරේ හෙලමින් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිසන් සභාවට ද මගීන් විසින් පැමිණිලි කර ඇත.
මීගහතැන්න පොලීසිය වහා ක්‍රියාත්මක වී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව මගීන්ගේ ප්‍රශංසාව ද පොලීසියට හිමිවී තිබේ.