මානව ජාවාරමට හසුවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදාගැනේ

මානව ජාවාරමට හසුවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදාගැනේ

March 18, 2025   03:55 pm

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයෙහි සයිබර් අපරාධ මධ්‍යස්ථාන විසින් මානව ජාවාරමට ලක්කොට බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු මුදාගෙන තිබේ. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ එම පිරිස හෙට (18) මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවය.

අමාත්‍යාංශය විසින් මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාර සහ තායිලන්ත රජයන්හි සහාය ඇතිව මෙම මුදාගැනීම් සිදුකර ඇත. 

2024 පෙබරවාරි 3 වනදා මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මධ්‍යම රජයේ විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ මහතා සමඟ සහ 2025 පෙබරවාරි 13 වනදා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය මෙරිස් සංගියම්පොන්සා මහතා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පවත්වන ලද දුරකථන සංවාද ඇතුළුව ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදා ගැනීම සාර්ථකව කළ හැකි වූ බව සඳහන් වේ.

මානව ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් මුදා ගනු ලැබීමට සහ ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ලබා දුන් මහඟු සහය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාර සහ තායිලන්ත රජයන් වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි.

මෙකී කාරයභාරයේදී, ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් මෙන්ම අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සම්පාදනය කර දීම වෙනුවෙන් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය වෙත මෙන්ම සුභසාධනීය වශයෙන් ලබා දුන් සහයෝගය සඳහා මියන්මාරයේ පිහිටා ඇති අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන වෙතද කෘතඥතාව පළ කර තිබේ.

මියන්මාර සහ තායිලන්ත බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන් යුක්තව, ඉතිරිව සිටින මානව ජාවාරමට හසු වූ ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සහ මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටින බව දැනුම් දී ඇත.

විදේශ රැකියා සඳහා අයැදුම් කරන විට මානව ජාවාරම් පිළිබඳව විශේෂයෙන් සුපරීක්ෂාකාරී වන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටියි. 

විදේශ රැකියා අවස්ථා පිළිගැනීමට පෙර රජය විසින් අනුමත කරන ලද ක්‍රියා පරිපාටි දැඩි ලෙස පිළිපැදීමටත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ රැකියා අවස්ථා සත්‍යාපනය කර ගැනීමටත් තමන් වගබලාගත යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි.