8 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකින් බංග්ලාදේශය යළි කැලඹෙයි
March 15, 2025 02:00 pm
බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමක් මේ වනවිට බංග්ලාදේශය පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇති බවය.
පසුගිය මාර්තු 5 වනදා පස්වරුවේ අදාළ දැරිය මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසේදී බව පැවසෙයි.
සිද්ධියෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ දැරිය දින 6ක් පුරා ඩකා හි රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ සහෝදරියගේ 18 හැවිරිදි සැමියා, ඔහුගේ මව්පියන් සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ මරණයත් සමග ප්‍රකෝපකාරී වූ ජනතාව සැකකරුවන්ගේ නිවසට ගිනි තබා ඇත්තේ ඒ අනුවය.
විරෝධතාකරුවන් රජයට බලකරන්නේ වින්දිත දැරියට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙසය.