අනියම් පෙම නිසා මිත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

අනියම් පෙම නිසා මිත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

March 13, 2025   11:20 am

උදලු පහර එල්ල කරමින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වැරදිකරු ලෙස සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවීම හේතුවෙන් පොළොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් අදාළ විත්තිකරුට මරණ දඬුවම නියමකර තිබේ.
 
උදලු තල පහරක් එල්ල කිරීමත් සමඟ බිම වැටුන පසුව මියයන තුරුම තම මිතුරාට උදලු පහර එල්ල කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ  අධිචෝදනා ලබා සිටි විත්තිකරුවෙකුට මෙලෙස මරණ දඬුවම නියමකර ඇත. 

විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවය.

ඒ අනුව මිනීමැරීමේ වරදට විත්තිකරුට මරණ දඬුවම නියම කරන බවද කියාසිටි මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරු මහනුවර පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට රැගෙන ගොස්  ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක හා වේලාවකදී යුෂ්මතාගේ බොටුවෙන් වැලලා ප‍්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට තමා නියෝග කරන බවද පවසා ඇත.

2015 වසරේ නොවැම්බර් මස 01 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් කවුඩුල්ලේදී, පී ජී රන්බංඩා යන අයට උදලු පහර එල්ල කර ඔහු මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීිති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය  හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි. 

මෙසේ මරණ දඬුවම නියම වූයේ පොළොන්නරුව කවුඩුල්ල පදිංචි ගාමිණි රණවීර නැමැත්තෙකුටය.

විත්තිකාර ගාමිණි රණවීර නැමැත්තා මරණකරුගේ බිරිඳ සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සබඳතාවයක් මෙම ඝාතනයට පාදක වී ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ වී තිබේ.