සුන්දර ගම ප්‍රතිනිර්මාණය කරන විදිය දිලිත් පැහැදිලි කරයි

සුන්දර ගම ප්‍රතිනිර්මාණය කරන විදිය දිලිත් පැහැදිලි කරයි

March 12, 2025   10:15 pm

මෙතෙක් පළාත් පාලන ආයතනවලින් ඉටු නොවූ ආකාරයේ සේවාවක් 'සර්වජන සභා' සංකල්පය ඔස්සේ ජනතාවට ඉටුකිරීමට සර්වජන බලයට හැකි බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4කට හිටපු සභිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සර්වජන බලය සමග අද (12) එක්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව මහනගර සභා, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා නියෝජනය කළ හිටපු සභිකයින් විසිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සර්වජන බලය සමග අද එක්වුණි.

සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

"සර්වජන බලය ලෙස අපි කරන්නේ මිනිස්සුන්ගේ දේශපාලනය. අපි ලබාගන්නා දේශපාලන ජයග්‍රහණ තළ අදූෂිතව කටයුතු කරන්න අපි වගබලා ගන්නවා. අපි සර්වජන සභා පිහිටුවනවා. ඒ තුළින් ව්‍යවසායකත්වය පොළොවේ පැළකරමින් සුන්දර ගම ප්‍රතිනිර්මාණය කරන්න අපිට පුළුවන් "

මේ අතර මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන ඇතුළු කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ද සර්වජන බලය සමඟ ඊයේ එක්වුණි.

එහිදී ප්‍රදීප් ජයවර්ධන මහතා සර්වජන බලයේ කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අපේක්ෂක ධුරයට නම් කෙරුණි.