වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්

වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්

March 6, 2025   08:08 am

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.

"මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා."

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

- උපුටාගැනීම - 

ලෝක මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය - 2025 මාර්තු පිළිකාව වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර, සෑම පිළිකා වර්ගයකම සංඛ්‍යාත්මකව වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතී. 

ලොව පුරා සැළකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාද මෙසේ වැඩි වෙමින් පවතී. මෙම පිළිකා, ලෝකය පුරා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය අතරම තුන්වන ස්ථානයේ සහ පිළිකා ආශ්‍රිත මරණ අතර දෙවන ස්ථානයේ පවතියි. 

GLOBOCAN 2022 දත්ත අනුව, මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට ගොදුරු වූ නව රෝගීන් සංඛ්‍යාව මිලියන 1.9 කට ආසන්න වූ අතර, මරණ 900,000 ඉක්මවා ඇත.

2021 වර්ෂයේ ජාතික පිළිකා ලේඛනයට අනුව, ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වය අතරෙහිම තුන්වන ස්ථානයේ පවතින පිළිකාව මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවයි. 2021 වර්ෂයේ අලුතින් හඳුනාගත් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝගීන් 1522 පිරිමි හා 1596 කාන්තාවන් ලෙස වාර්තා වී තිබේ.

ජීවන රටාවේ වෙනස්කම්, වයස්ගත ජනගහනය සහ මූලික රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අඩුවීම ආදී කරුණු රැසක් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා ඉහළ යෑමට හේතු වී ඇත. රෝග විනිශ්චය ප්‍රමාද වීම අවම කිරීමට පිළිකා පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීම, වැළැක්වීම සහ කලින් හඳුනා ගැනීමේ උත්සාහයන් වැඩි කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය ඉස්මතු වී ඇත. 

මෙම පිළිකා මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයෙන් පැන නගින මස් දල්ලක් indows ලෙස ඇරඹෙන අතර මෙය කලින් හඳුනාගත හැකි පූර්ව පිළිකා අවධියක් පෙන්නුම් කරයි. එය කාලයත් සමඟ වර්ධනය වී ආක්‍රමණශීලී පිළිකාවක් බවට පත්වේ. මෙම අවධිය කලින් හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර කළ හැකි පිළිකා රෝග තත්ත්වයකි. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම ඇතුළු ජීවන රටාවේ ඇති කරගන්නා වෙනස්කම් මහා අන්ත්‍රයේ සහ ගු මාර්ගයේ පිළිකාව වර්ධනය වීමේ අවදානම අඩු කිරීමට වැදගත් සාධක ලෙස දැක්විය හැකිය. 

මීට අමතරව, මළපහ අශ්‍රිතව සිදු කරන පරීක්ෂණ, කොල නොස්කොපි සහ සි වැනි පරීක්ෂණ ක්‍රම මගින් මෙය පුර්ව පිළිකා තත්වයේදීම හඳුනාගත හැක.

මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පාලනය කිරීම සඳහා මහජන දැනුවත්භාවය සහ කාලීන මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. බොහෝවිට මුල් අවධියේදී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා ලෙස ළඟදී ඇතිවුණු ගුද මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමක්, සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින මළපහ පුරුදු වල ඇති වූ වෙනස්කම් හැඳින්විය හැක. 

රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් බොහෝ විට මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුවකළ හැක. වෛද්‍ය වෘත්තිකයන් මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් පරික්ෂා කිරීමේදී අමතර සැළකිල්ලක් දැක්විය යුතුය. මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ගුද මාර්ගයේ පරීක්ෂණයක් (PR- per rectal) සිදු කිරීම අනිවාර්ය වේ. 

මෙම සරල පරීක්ෂණය, අර්ශස් රෝගී තත්ත්වය බැහැර කිරීමටද සිග්මායිඩොස්කොපි/කොලොනොස්කොපි වැනි වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍යතාවය තීරණය කිරීමටද උපකාරී වේ.

2025 මාර්තු මාසයේ දී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට අදාළ අවදානම් සාධක, රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන අතර ඒ හරහා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් නැඹුරු කිරීම අත්‍යාවශ්‍ය වේ. දැනුවත්භාවය වැඩි කිරීම හරහා රෝගීන් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් එම රෝගීන්ට සාර්ථක ප්‍රතිඵල ලබාදී ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි."

- උපුටා ගැනීම අවසන් -