සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම 6 වනදා

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම 6 වනදා

March 4, 2025   08:47 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම අනිද්දා (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තීන්ටද බලපාන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලා තිබුණි.

අදාළ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එම සම්මේලනය ඊයේ තීරණය කළේ එළඹෙන 6 වනදා පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමටය.

ඒ අනුව පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ සංයෝජක ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට අවතීර්ණවීමට නියමිතය. 

මේ අතර අයවැයෙන් දීමනා කප්පාදුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල අද දිවයින පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවල නිරත වුණි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය ද අද පෙරවරුවේ රාජගිරිය ගුවන් පාලම අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර තිබුණි.

ඒ මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 35,000ක් පමණ සිටියද, අයවැයෙන් රැකියා අවස්ථා යෝජනා කර ඇත්තේ 30,000කට පමණක් වන බැවින් සියලු රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදෙන්නැයි බල කරමිනි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවසීය.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.