අප්‍රෙල් මාසයේදී හෙද හෙදියන්ට අතට දැනෙන වැටුපක් ලැබෙන බව ඇමති කියයි
March 1, 2025 07:41 pm
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ හෙද හෙදියන් සඳහා සිදුවන වැටුප් වැඩිවීම පිලිබඳව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ අනාවරණයක් සිදු කලේය.
මෙහිදි ඔහු සඳහන් කළේ එළැඹෙන අප්‍රේල් මාසයේ සිට මෙම වැටුප් වැඩිවීම් සිදුවන අතර එහිදි සියලු ශ්‍රේණිවල හෙද හෙදියන් සඳහා දැනෙන වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බවත්ය.
මෙහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"හෙද සේවයේ තුන්වැනි ශ්‍රේණියේ 8200 පමණ සේවය කරනවා. ඒ අයට මූලික වැටුප තිබුණේ රුපියල් 32,525ක් පමණයි. අපේ මූලික වැටුප් වැඩිවීම ඇතුළේ රුපියල් 54,920 දක්වා වැටුප් වැඩි කරලා තියෙනවා. ඒ අනුව, මූලික වැටුප විතරක් 22,395ක් වැඩිවෙලා. ඒ අයගේ OT එක පැයකට රුපියල් 215ක තිබුණ දීමනාව රුපියල් 290 දක්වා පැයකට රුපියල් 75කින් වැඩිවෙනවා. දෛනික දීමනාව රුපියල් 1,084 තිබුණ එක 1,831 දක්වා වැඩිවෙනවා. මම මේ කියන්නේ පළමු පත්වීම ලබලා අවුරුදු 05ක් වැඩ කරන අයටයි. ඒ අයට දළ වැටුප විදියට 10,4081 අප්‍රේල් මාසේ ඉඳලා 133,640ක් අවම වශයෙන් ලැබෙනවා.
දෙවන ශ්‍රේණියේ හෙද හෙදියන් 9,400ක් ඉන්නවා. පත්වීම ලැබිලා අවුරුදු 05කට පස්සේ දෙවන ශ්‍රේණියට ඇතුළත් වෙනවා. ඒ අයට මූලික වැටුප තිබුණේ රුපියල් 37,636යි. ඒක වැඩි කරලා තියෙනවා රුපියල් 64,500 දක්වා. ඒ කියන්නේ රුපියල් 26,864කින් මූලික වැටුප පමණක් වැඩිකරලා තියෙනවා. මෙතෙක් පැයකට රුපියල් 255ක තිබුණ OT එක රුපියල් 345 දක්වා රුපියල් 90කින් වැඩි කරනවා. දෛනික දීමනා රුපියල් 1881ක දීමනාව රුපියල් 2150 දක්වා වැඩිකරනවා. එතකොට ඒ අයගේ දළ වැටුප සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිවෙනවා.
පළමු ශ්‍රේණියේ 16,000ක් සේවය කරනවා. සේවයට ඇතුළත් වෙලා අවුරුදු 12කට පස්සේ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ අයගේ දැන් තියෙන මූලික වැටුප තමයි රුපියල් 44,965යි. මේ මූලික වැටුප රුපියල් 77,850 දක්වා වැඩිවෙනවා. ඒ 32,885ක් මූලික වැටුප වැඩිවෙනවා. දැන් OT පැයක් තියෙන්නේ රුපියල් 305යි ඒක රුපියල් 420 දක්වා වැඩිවෙනවා. OT පැයක් රුපියල් 115කින් වැඩිවෙනවා. රුපියල් 2248ක් තියෙන දෛනික දීමනාව රුපියල් 2595 දක්වා වැඩිවෙනවා.
අධි ශ්‍රේණියේ හෙද හෙදියන් 6,000ක් ඉන්නවා. මේ අයට සේවට බැඳිලා අවුරුදු 22ක් ගියාම තමයි උසස්වීම ලැබෙන්නේ. දැන් රුපියල් 53,035ක තියෙන මූලික වැටුප රුපියල් 92,460 වෙනකන් වැඩිවෙනවා. මූලික වැටුප 39,425කින් වැඩිවෙනවා රුපියල් 350ට තියෙන OT පැය රුපියල් 500ක් වෙනවා. රුපියල් 2,651ක් තියෙන දෛනික දීමනාව රුපියල් 3,082 දක්වා වැඩිවෙනවා.
ඒ වගේම විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් 415ක් පමණ දැන් ලංකාවේ ඉන්නේ. සේවා කාලය අවුරුදු 27ක් වගේ වුණාම උසස්වීම ලැබෙනවා. දැන් ලැබෙන්නේ රුපියල් 54,235යි. මේ මූලික වැටුප රුපියල් 94,060 වෙනකන් වැඩිවෙනවා. වැඩිවීම විතරක් රුපියල් 40,000කට ආසන්නයි. ඒ අයට OT පැය රුපියල් 395 තියෙන මුදල රුපියල් 545 දක්වා වැඩිවෙනවා. දෛනික දීමනාව රුපියල් 2,711 රුපියල් 3,135 වෙනකන් වැඩිවෙනවා.
අප්‍රේල් මාසයේදී මේ හෙද හෙදියන් 40,000ට ඒ අයගේ සේවා කාලයට මේ මුලික වැටුප් වැඩිවීම OT වැඩිවීම, දෛනික දීමනාව වැඩිවීම, ඒ වගේම වාර්ශික වැටුප් වර්ධකය මේ සියල්ල එකතු වුනාට පස්සේ අප්‍රේල් මාසයේදී අතට දැනෙන වැටුපක් ලැබෙනවා අනිවාර්යයෙන්ම."