ජීවිත බිලිගත් මාරක අනතුරු
February 26, 2025 07:51 am
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) එම අනතුරු සිදුව තිබුණේ ඩෙල්ෆ්ට්, කඳාන, අවිස්සාවේල්ල සහ කටුගස්තොට යන පොලිස් වසම්වලින්ය.
ඩෙල්ෆ්ට් - සරාපිටිය මාර්ගයේ ඩෙල්ෆ්ට් රෝහල අසලදී ට්‍රැක්ටර් රථයක් මාර්ගය අසල තිබූ බෝක්කු කණුවක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 13 වන කොටස, ඩෙල්ෆ්ට් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර කඳාන පොලිස් වසමේ පේරලන්ද ප්‍රදේශයේ රාගම දෙස සිට කඳාන දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් පදික කාන්තාවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ගොඩකවෙල, රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවකි.
මේ අතර කොළඹ මඩකලපුව මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අකරවිට, කොස්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර මහනුවර කුරුණෑගල මාර්ගයේ කටුගස්තොට නගරයේදී යතුරුපැදියක් වාහන කීහිපයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කටුගස්තොට රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.