කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් ඝාතනයට උත්සාහයක්

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් ඝාතනයට උත්සාහයක්

February 26, 2025   12:21 pm

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් ඝාතනය කිරීමට ගත් උත්සහයක් පන්නල පොලීසිය මඟින් ව්‍යාර්ථ කර තිබේ.

පොලීසිය පැවසුවේ ඒ සමග ඝාතනයට පැමිණි බවට සැකකෙරන තරුණයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ නම් අපරාධකරුට චෝදනා එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට කුමන හෝ සබඳතාවක් ඇති සියලුදෙනාම ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බව අරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන ඇත.

එවන් පසුබිමක කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ තරුණයන් දෙදෙනා එහි සිටි බව පොලීසිය පැවසුවේය.

එම අවස්ථාව වන විටත් කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව, පියා හා බාල සොයුරා නිවස තුළ සිට තිබේ.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 21 හා 24 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ඩුබායි සමීර නම් අපරාධකරුගෙන් ලද පණිවුඩයකට අනුව අදාළ නිවස විඩියෝ ගත කළ බවය.

එම නිවසට පිවිසිය හැකි ගමන්මග විඩියෝ කර තමන්ට එවන ලෙසට ඩුබායි සමීර නැමැත්තා උපදෙස් දුන් බවත් මත්ද්‍රව්‍ය පානය කිරීමට විටින් විට ඔහු විසින් මුදල් ලබාදීම හේතුවෙන් එය සිදුකළ බවත් සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගිනිඅවියක් ද පොලිසිය පන්නල, කොස්වත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මොවුන් දෙදෙනා ප්‍රහාරය සඳහා සූදානම්ව සිට ඇති බවට සැකකරන බැවින් හෙට (27) දිනය දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන අතර හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව මේවන විට පුද්ගලයන් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අතර ඔහුව ඝාතනය වූ දින අධිකරණයට රැගෙන ආ නිලධාරීන්ද වේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තවත් පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ, ගණේමුල්ල සංජීව අලුත්කඩේ අංක 9 අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් පැවැති බැවින් ඔවුට ඊට ඉදිරිපත් කිරීමට රැගෙන ආ බවයි.

එදිනම අංක 5 අධිකරණයේදී ඔහුට විරුද්ධව නඩු කටයුත්තක් පැවැති බැවින් ඊට ඉදිරිපත් කළ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනයට පෙරදින ඔහු රඳවා සිටි බූස්ස බන්ධනාගාරයේ සිරමැදිරිය පිහිටි පරිශ්‍රයේ තිබී ජංගම දුරකතනයක් හමුවී තිබේ.

එය වැඩිදුර විමර්ශන සඳහා අදාළ නිලධාරීන්වෙත භාරදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා පැවසුවේය.