උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්

උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්

February 25, 2025   06:04 pm

උමාඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට කැබිනට් අනුමැතියක් ලැබුණු බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඊයේ (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි මේ සම්බන්ධව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත වී තිබේ. 

ඒ අනුව උමාඔය ව්‍යාපෘතියේ ගැටළු පිළිබඳ අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබාදීම සඳහා අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ඇමතිවරයාගේ  සභාපතිත්වයෙන් සහ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය - කුමාර ජයකොඩි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, යන ඇමතිවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එහිදී උමා ඔය ව්‍යාපෘතියට ඉඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදුන් පිරිසට සහන ලබාදීම, ව්‍යාපෘතිය ඉදිකිරිමේදි සිදුවු ගිලා බැසීම්, පුපුරා යෑම් නිසා හනි වු නිවාස සඳහා වන්දි ලබා දීම, වගා වන්දි නොලැබුනු පිරිසට වගා වන්දි ලබා දීම, ජල ව්‍යාපෘති මගින් පානිය ජලය අහිමිවු අයට පිරිසිඳු පානිය ජලය ලබා දීම, කුලී නිවැසියන්ට ලබා නොදුන් කුලී මුදල් ලබා දීම, පූර්ණ නිවාස හානි වු අයට ඉඩම් හා වන්දි ලබා දීම, පාරිසරික හානි සඳහා විදිමත් අධ්‍යානයකින් පසු පිළියම් යෙදිම, උමා ඔය පහළ නිම්නයේ ජනතාවට වාරි ජලය හා විදුලිය නිපදවීම සඳහා තල්පිටිගල ජලාශය ඉදිකිරිම, සමස්ත උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවු වංචා දූෂණ අක්‍රමිකතා නීති විරෝධි කාර්යයන් පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදු කිරිම, උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ප්‍රශ්න විසදීම, මෙම ව්‍යපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයෙ සිදුවන සොදා පාළුව, පාංශූ ඛාදනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනිම යන කාරණා යටතේ උමාඔය ව්‍යාපෘතියේ ගැටළු පිළිබඳ අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබාදීමට නියමිතය.

මේ  සඳහා වූ මෙම පංච පුද්ගල අමාත්‍ය කමිටුවේ පළමු රැස්වීම මාර්තු මස 03 වන දින පාර්ලිමේන්තුවේ රැස්වීමට නියමිත බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.