ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

February 24, 2025   01:10 pm

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ භාරයේ සිටි මෙම සැකකරුවන් අද (24) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අදාළ සැකකරුවන් මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙම සැකකරුවන් අතරින් දමිදු දිල්ෂාන් නැමති සැකකරු වෙඩික්කරුට වෙඩි තැබීම සඳහා අවශ්‍ය ගිනිඅවිය ලබාදීමට ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේය.

ඊට අමතරව දමිත් නයනජිත් සහ චමෝද් ගිම්හාන් යන සැකකරුවන් දෙදෙනාම වෙඩික්කරුට සහ ඔහුට සහාය වූ කාන්තාවට මීගමුව ප්‍රදේශයේදී ප්‍රවාහන පහසුකම් ලබාදී රෙදි මිලදී ගැනීමට සහාය වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කර සිටියේය. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ ඔහු රැගෙන ගිය රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබා ගත් රැඳවුම් නියෝගයක් මත දින 90ක් පොලීසිය භාරය රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් පොලීසිය පැවසුවේය. 

මෙහි ප්‍රධාන සැකකාර වෙඩික්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව මසකට වරක් සැකකරු පරීක්ෂා කිරීමට මහෙස්ත්‍රාත්තුමියට බලය පැවරී තිබෙන බව සඳහන් කළේය.

ඊට අමතරව සැකකරු රඳවා තිබෙන ස්ථානය මාරු කරන්නේ නම් හෝ විමර්ශන කටයුතු සඳහා ඔහු පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට මීට පෙර නිකුත් කරනු ලැබූ නියෝගය ඒ ආකාරයෙන්ම දීර්ඝ කන ලෙසත් නීතිඥවරයා මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ අජිත් පතිරණ මහතා තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීමක් සිදුවී ඇති බවත් එය පොලීසිය භාරයේ සිටියදී සිදුවූවක් නොවන බවත් සඳහන් කර සිටියේය. 

ඒ සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල නොකරන බව පැවසූ නීතිඥවරයා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර පොලීසිය මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කළේය.

පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය CCTV දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්න ලෙසත් අධිකරණයේ ලේඛකාධිකාරිට නියම කළේය.