සද්ධන්තයින් බිලි වූ මීනගයා දුම්රියේ රියදුරු ගැන හෙළිදරව්වක්

සද්ධන්තයින් බිලි වූ මීනගයා දුම්රියේ රියදුරු ගැන හෙළිදරව්වක්

February 24, 2025   11:20 am

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලි රංචුවක් ගැටී අනතුර සිදුවූ දිනයේ එම දුම්රිය පදවා ඇත්තේ වයෝවෘධ රියදුරෙකු බව වනජීවී සංරක්ෂණ සංසදය පවසයි.

එහි ලේකම් නයනක රංවැල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ, දුම්රිය පැදවීමට එම රියදුරාට රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය හෝ නොමැති බවය.

"මේ දුම්රිය පදවාගෙන ගිහින් තියෙන්නේ වයස අවුරුදු 67ක් වෙච්ච අඩුගානේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයවත් නැති දුම්රිය රියදුරෙක්. ඔහුගේ අදාළ නිර්දේශ කාලපරිච්ඡේදය පසුගිය ජනවාරි 15 වනදායින් අවසන් වෙලා තියෙනවා.  දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනි දුම්රිය රියදුරන් 19 දෙනෙක් සිටින බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. තමන්ගේ ඉහළ නිලධාරියාගේ කට වචනයට තමයි වයෝවෘධ රියදුරා මේ දුම්රිය අරන් ගිහින් තියෙන්නේ. බිමල් රත්නායක මහතා මේ ගැන දන්නේ නෑ. එතුමාට මේක දන්නේ නැතිනම් වහාම සොයා බලන්න කියලා කියනවා."

මෙම ගැටලුව යළි ආන්දෝලනයක් මතුකරන්නේ පසුගිය 20 වනදා රාත්‍රියේ මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී වන අලි සත්දෙනෙකුට දිවි අහිමිවීමත් සමගිනි.

දුම්රියේ ගැටී වන අලි මියයාම වළක්වාගැනීම සඳහා සාර්ථක විසඳුමක් ලබාදෙන්නට බලධාරීන් මෙතෙක් සමත්ව නැත.

එමෙන්ම දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, වනඅලි දුම්රියේ ගැටීම වළක්වාගැනීමට සන්නිවේදන පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පවතින බවය.

"මේ වෙනකොටත් දුම්රිය එන්ජින් වල එම උපකරණ සවි කරලා තියෙන්නේ ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. ක්‍රියාත්ම වෙනවා කියලා ඒ අදාළ සමාගම් වලට සම්පූර්ණ ගෙවීම් කරලා තියෙනවා. අනිත් එක දුම්රියවලට සවිකරන්න තරම් ප්‍රමාණවත් උපකරණ මිලදී ගෙන නෑ. නමුත් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 17ක් වැයකරලා තියෙනවා. විශේෂයෙන්ම අලි ගැටීම් සම්බන්ධයෙන් කතා කරොත් එකට පණිවිඩ දෙන්න. උපක්‍රමයක් ඒ තුල හදන්න තිබුණනේ. වනඅලි දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් සංනිවේදන උපකරණ වල දැඩි අවශ්‍යතාවයක් තියෙනවා."