එල්ලවන චෝදනා ගැන ඛනිජ තෙල් අලෙවිකරුවන්ගෙන් ප්‍රකාශයක්

එල්ලවන චෝදනා ගැන ඛනිජ තෙල් අලෙවිකරුවන්ගෙන් ප්‍රකාශයක්

February 8, 2025   05:57 pm

ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීමෙන් පසු අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් එල්ලව චෝදනා පිළිබඳව ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ පසුගිය දින කිහිපයේදී නොයෙක් මාධ්‍ය විසින් ඉන්ධන අලෙවි කිරීමේදි ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් 03%ක අයුතු ලාභයක් ලබා ගන්නා බවට මාධ්‍ය වාර්තා පළ කර තිබූ බව එම සංගමය මගින් නිරීක්ෂණය කර තිබූ බවය.

ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් සහ අලෙවිකරුවන් ලෙස තමන් ඛණිජ තෙල් ආනයනය කිරීම, බෙදාහැරීම හෝ ඛණිජ තෙල්වල පිරිවැය ගණනය කිරීමක් සිදු නොකරන බවත් සිය කාර්ය භාරය වනුයේ ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයාට විකිණීම පමණක් බවත් එම නිවේදනයේ සඳහන් ව ඇත.

එමෙන්ම අලෙවිය සඳහා ඛනිජ තෙල් තොග මිලදී ගනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හෝ වෙනත් පෞද්ගලික සමාගම්වලින් බවත් මෙම ක්‍රියාවලිය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග අත්සන් කර ඇති ගිවිසුමෙන් පිටත ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අනවශ්‍ය ලාභ උපයා ගැනීමට ක්‍රමයක් නොමැති බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එම සංගමය පවසන්නේ ඉන්ධන අලෙවි කිරීමෙන් ලබන්නා වූ එම 03%ක මුදල ලාභයක් නොව ඉන්ධන අලෙවි කිරීමෙන් ලබා ගන්නා ආදායම් මුදලක් බවය.

එකී මුදලින් ඉන්ධන පිරවුම්හල් නඩත්තුව, සේවක වැටුප් ගෙවීම, ජල හා විදුලි බිල්පත් ගෙවීම ආදි සියලු ගෙවීම් කටයුතු සිදුකරනු ඇති බවත් ඉන් පරිභාහිරව කිසිදු අමතර මුදලක් ඉන්ධන අලෙවි කිරීමෙන් ඉන්ධන පිරවුම්හල් වෙත නොලැබෙනු ඇති බවත් එම සංගමය පවසයි.

මේ හේතුවෙන් අයුතු ලාභයයක් හෝ එලෙස ලාභ උපයා ගැනීමට ක්‍රමයක් කිසිදු අයුරකින් නොමැති බවත් එම සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.