රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
February 8, 2025 06:40 am
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.
ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
රොටුඹ උපාලි නමැති 39 හැවිරිදි සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී ඇත.
සැකකරුට විරුද්ධව ඇති චෝදනාව -
01. 2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම.
02. ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03 වයසැති බාලවයස්කාර දැරියක් නීත්‍යානුකුල බලහත්කාරයෙන් අපහරණය කර ස්ත්‍රි දූෂනය කිරීම.
03. 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
මේ අතර අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද තවත් සැකකරුවෙකු වන ප්‍රදීප් සඳරුවන් නොහොත් කොළොන්නාවේ චන්දන යන අය පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සැකකරු යොමු කරමින් මෙම රැඳවුම් නියෝගය ලබාගෙන ඇති බව පොලීසිය පැවසීය.
ඒ අනුව සැකකරු බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවී ඇත.
මේ අතර රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා නමැති සැකකරු මේ වනවිට තංගල්ල පොලීසිය භාරයේ පසුවන අතර අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.