සුනඛයින්ට ඇද තිබූ විදුලි රැහැනක පැටලී අයෙක් මරුට
February 7, 2025 07:16 am
අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
සෙවනගල පොලීසිය සඳහන් කළේ ඊයේ (06) දහවල් කාලයේදී සෙවනගල පොලිස් වසමේ නෙලුම්වැව ප්රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ අසල නිවසේ අසනීප තත්ත්වයෙන් එක්තැන් වී සිටින තම මවට දිවා ආහාරය ලබාදීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේදී, නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා ඔහුගේ පියා විසින් නිවස තුළ අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘතශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.