ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ගැසට් පත්‍ර කිහිපයකට අනුමැතිය

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ගැසට් පත්‍ර කිහිපයකට අනුමැතිය

January 22, 2025   06:07 pm

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ ( 21) රැස්වූ අවස්ථාවේදී මීට අදාළ අනුමතිය ලබා දී ඇත.

2018 වසරේදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමග එළැඹි නිදහස් වෙළෙඳ ගිවිසුම 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවත් නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී ඇත.

මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනනයනයේදී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන(PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදුවේ.

කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීහු දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිළි කර තිබේ. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කර ඇති විශේෂ ව්‍යාපෘතියක් සඳහා බදුසහන සැලසීමට අදාළ නිවේදනය ද කාරක සභාවේදී නැවත සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදී ඇත.

2022 වසරේ එළැඹි ගිවිසුමකට අනුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ මෙම නිවේදනය පළකර තිබිණි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ නියෝජිතයෙකු විසින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම ‍කාරක සභාවට පැහැදිළි කළ අතර රෙදිපිළි නිෂ්පාදනයට අදාළ රෙදිපිළි වර්ණ ගැන්වීම, රෙදි විවීම ආදි කාර්යයන් එකම භූමියක සිදුවේ.

ඇ.ඩො මිලියන 35ක මෙම ව්‍යාපෘතියෙන් විදේශ විනිමය වියදම් අඩුකිරීම අරමුණු කරගෙන ඇති අතර දේශීය රැකියා අවස්ථා 490ක් පමණ ඇතිවේ. 

ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට සමගාමීව තරගකාරී වෙළෙඳපොල අත්පත් කරගැනීමට මෙවැනි ව්‍යාපෘති වැදගත් බව පෙන්වා දුන් කාරක සභාව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් සමානාත්මතාවයෙන් යුතු බදු ප්‍රතිපත්පතියක අවශ්‍යතාවය ද  අවධාරණය කරන ලදී.
  
මේ අතර ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි සඳහා කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

එමෙන්ම සහල් ආනයන බලපත්‍ර පාලනය තාවකාලිකව ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලස්වීම පිණිස මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.

2025 ජනවාරි 10 දක්වා සහල් ආනයනය සඳහා අවස්ථාව හිමිවූ බවත් මෙම කාලය තුළ සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක් රජයට හිමිවූ බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

තවද සහල් හිඟය සඳහා හේතුවන කාරණා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්ව සහල් නිෂ්පාදනය ‍සහ තොග පවත්වා ගැනීම ඇතුළු අදාළ නිවැරදි දත්ත පවත්වා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.                   

එසේම  මීට පෙර කාරක සභාවේදී සළකා බැලුණු ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි නැවත සලකා බලා අනුමතිය ලබාදීම ද මෙහිදී සිදුවිය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන  ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය සඳහා මෙම රෙගුලාසි හදුන්වා දී තිබිණි.

එසේම මාස තුනක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කොට  ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන  ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනයට අදාළ රෙගුලාසිවල ගැටලු පවතීනම් නැවත සමාලෝචනය කරන ලෙස ද දැනුම් දුන්නේය.