කලක සිට කළ ජාවාරමක් හෙළිකර දුන් මී ගවයන්

කලක සිට කළ ජාවාරමක් හෙළිකර දුන් මී ගවයන්

January 18, 2025   11:56 am

ඇඹිලිපිටියේ සිට නීති විරෝධීව කුඩා ලොරි රථයක ප්‍රවාහනය කළ මී ගවයින් 09 දෙනෙකු සමග එම ලොරි රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු කොටවිල පොලීසිය විසින් කඹුරුගමුව මංසන්ධියේදී අද (18)දා අළුයම අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ගවයන් පැටවූ ලොරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්න මොහොත වනවිටත් එක් ගවයකු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

කලක සිට මෙම හරක් හොරකම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

ලොරි රථය අතුරු මාර්ග ඔස්සේ පැමිණ දක්ෂිණ අධිවේගයෙන් කොළඹ දෙසට හොර රහසේ ගමන්කිරීමට සූදානමක් තිබෙන බවට පොලීසියට තොරතුරේ ලැබී ඇත.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, වාහනයේ කැබින් එක තුළද හෙරොයින් සුළු වශයෙන් තිබී සොයාගෙන ඇත.

මෙම බට්ටාව වර්ගයේ ඩීසල් මෝටර් රථයේ ඉදිරිපස අංකය සහ ආදායම් බලපත්‍රය ද නොගැළපී ඇති අතර, ඒ හේතුවෙන් ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් මෙම ජාවාරම කරගෙන යන්නේදැයි සොයා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරුවන් අලුත්ගම දර්ගා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් මෙම ගවයන් සොරාගෙන ප්‍රවාහනය කරමින් සිට ඇති බව මෙතෙක් කළ ප්‍රශ්න කිරීම්වලින් පොලීසියට තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

සැකකරුවන් කොටවිල පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, වැඩිදුර විමර්ශන වලින් පසු අද (18) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.