අද සිට වැස්ස වැඩිවෙයි

අද සිට වැස්ස වැඩිවෙයි

January 18, 2025   06:31 am

අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. 

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව ද ඊයේ රාත්‍රියේ විශේෂ දැනුම්දීමක් සිදුකරමින් පවසා සිටියේ, අද සිට නැගෙනහිර උතුරු මැද හා උතුරු පළාත, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලටද වැඩි තීව්‍රතාවයකින් වැසි ලැබීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයම වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ඉඩක්  ඇති බැවින් මේ පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමු කරන ලෙසයි.