ඩිජිටල් ID එක අද හෙටම

ඩිජිටල් ID එක අද හෙටම

January 14, 2025   11:48 am

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු පවසන්නේ අදාළ ඩිජිටල් පද්ධතිය මුල් අවස්ථාවේ සකස් කරදීම උදෙසා පමණක් ඉන්දියානු සමාගමක් සම්බන්ධ කරගන්නා බවය.

ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.