වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක තවත් තුනක් අල්ලයි
January 13, 2025 04:38 pm
මහනුවර වත්තේගම නගරයේ මාළු ව්‍යාපාරිකයෙකු ඔහුගේ නිවස ඉදිරිපිටදී පසුගිය 03 වැනිදා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා සමග ඔවුන් ඝාතනය සඳහා භාවිත කළ බව කියන කඩු හතරක් සහ මුදලින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මාතලේ කොට්ඨාස අපරාධ අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
අදාළ මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා ඝාතනය කරනු ලැබූ මාළු ව්‍යාපාරිකයාගේ මාළු වෙළෙඳසැලට යාබද වෙළෙඳ සැළේ මාළු ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවත් ඒ අනුව මෙම ඝාතනය සිදුකළ බවත් සැකකරුවන් පොලීසිය වෙත පවසා තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් කොළඹ තලංගම ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරයි.