හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි දිවි සැරිය නිම කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි දිවි සැරිය නිම කරයි

January 12, 2025   11:06 am

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (11) රාත්‍රියේ ඔහු මියගොස් ඇති අතර මිය යන විට ඒ මහතා 98 වියේ පසුවිය.

මල්කාන්ති ගුණසේකර මහත්මියගේ දයාබර සැමියා වූ ඒ මහතා තිදරු පියෙකි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා 1993 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ අමාත්‍ය යන තනතුරු ඔහු විසින් දරා ඇත.

මෙරට දේශපාලනයේ දැනට ජීවත්ව සිටි වයෝවෘද්ධම දේශපානඥයා වශයෙන් සැලකූ ඒ මහතා 1948 වසරේ පැවැති කුඹුකපන්තුව ගම් කාර්ය සභාවේ මැතිවරණයෙන් හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේය.

එම කාල පරාසය තුළ මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු වශයෙන් හොරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු විෂයෙහි ප්‍රබල දායකත්වයක් ද ලබා දෙනු ලැබීය.

පොකුණුවිට ජන සෙත පදනම ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇති ඒ මහතා හොරණ රාජකීය විද්‍යාලයේ නිර්මාතෘවරයාද වන්නේය.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (13) රාත්‍රියේ සිට හේනේගම පොකුණුවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

අවසන් කටයුතු එළැඹෙන බදාදා (15) දා පොකුණුවිට, හේනේගම ජනසෙත පදනම ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතය‍.