කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් මෝටර් රථයක් ලියාපදිංචි කල අයෙකු අත්අඩංගුවට

කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් මෝටර් රථයක් ලියාපදිංචි කල අයෙකු අත්අඩංගුවට

January 10, 2025   09:50 pm

මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව වෙත කූඨ ලේඛන ඉදිරිපත් කර මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2023.07.13 වන දින කඩවත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් ව්‍යාජ අංක තහඩු සවි කරන ලද වාහනයක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව අදාළ පුද්ගලයා ගමන් ගත් වාහනය හා පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී හමුවූ වාහන 404කට අදාළ විවිධ ලේඛන සමග සැකකරු කඩවත පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක තහඩු සහිත නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් 2024.12.26 වන දින මීරිගම හල්පෙ ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගෙන ඇත.

එම ජීප් රථය කොටස් වශයෙන් මෙරටට ආනයනය කර එකලස් කරන ලද්දක් බවට අනාවරණය වී ඇති අතර එම රථයට අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංක යොදා කූඨ ලේඛන මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ඉහත මෝටර් රථයට ලියාපදිංචි ලේඛනයක් සකස් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් අද (10) දින බෝල්වතේ, ගනේමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් තව දුරටත් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.