ශ්රී ලංකා පිල ලකුණු 178කට දැවීයයි
January 5, 2025 07:00 am
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන් හිදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්රී ලංකා පිලට ආරාධනය කළ අතර එහි දී ශ්රී ලංකා පිලට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.
එක් අවස්ථාවක ලකුණු 23 ක් ඇතුළත මුල් පෙළේ කඩුළු 4 ක් බිඳ වැටී ශ්රී ලංකා පිල දැඩි අසීරු අඩියකට පත්ව සිටි අතර එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ගොඩනගන ලද ලකුණු 87 ක් සම්බන්ධතාවය හරහා යම්කිසි අස්වැසිල්ලක් ශ්රී ලංකා පිලට ලබා දීමට සමත්වුණි.
මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්විය. සෙසු එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවීම ශ්රී ලංකා පිලේ දුර්වල පිතිහරඹය මොනවට කියාපාන්නකි.
අද දින ශ්රී ලංකා පිල වෙනුවෙන් ඒෂාන් මාලිංග එක්දින වරම් දිනාගැනීමට සමත්වීම විශේෂ සිදුවීමකි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 19කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්විය.