රුපියල් බිලියන 28ක මත්ද්‍රව්‍ය හා මත්පෙති නාවික හමුදා භාරයට
January 6, 2025 07:19 pm
2024 වසරේදී සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 28,158කට අධික දළ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නිවේනදයක් නිකුත් කරමින් නාවික හමුදාව පවසා සිටියේ, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන සමඟ එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලින් එම හෙරොයින් සොයා ගෙන ඇති බවය.
මීට අමතරව එම මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළආරක්ෂක බළකාය සහායද ලැබුණු බව නාවික හමුදාව පවසයි.
2024 වර්ෂයේ දී රුපියල් මිලියන 15,554කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 622කට අධික තොගයක්, රුපියල් මිලියන 11,508කට අධික දළ වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 121 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
එමෙන්ම රුපියල් මිලියන 700කට අධික දළ වටිනාකමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1,752කට අධික තොගයක්, රුපියල් මිලියන 23කට අධික දළ වටිනාකමකින් දේශීය ගංජා කිලෝග්‍රෑම් 119 කට අධික තොගයක් සහ රුපියල් මිලියන 373 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්පෙති 1,179,746ක තොගයක් අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
එාසේම නාවික හමුදාවේ තොරතුරු මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය, දේශීය ගංජා පැළ 107626ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට සමත්විය.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 21ක් සමඟ සැකකරුවන් 230ක්, අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, 2024 වර්ෂයේ නීතියේ රැහැනට හසුකරගත් තහනම් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 28,158 කට අධික බව වාර්තා වෙයි.
එමෙන්ම, පසුගිය වර්ෂය තුලදී සිදුකල මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කල මත්පැන් බෝතල් 226 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක්, නීතිවිරෝධී දුම්වැටි 234670 ක තොගයක්, මදන මෝදක 972 ක තොගයක් සමඟ සැකකරුවන් 52 ක්, ගජමුතු 11 ක ප්‍රමාණයක් හා නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක්, මෙරට මුහුදු කලාපය ඔස්සේ වන සතුන් ජාවාරම් කල යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 05 ක්ද නාවික හමුදාව මගින් නීතියේ රැහැනට හසුකර දී ඇත.
පසුගිය වසර තුළදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩී කොළ කිලෝග්‍රෑම් 65,687 කට අධික තොගයක්, වියළි කහ කිලෝග්‍රෑම් 7,272 කට අධික තොගයක්, ඉඟුරු කිලෝග්‍රෑම් 368කට අධික තොගයක්, කෘෂි රසායනික දියර බෝතල් 8330 ක් හා පැකට් 56,786 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන 727ක තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් 81 දෙනෙකු සහ ඉන්දීය ජාතික සැකකරුවන් 03 දෙනෙකු හා ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දී තිබේ.
නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරනු ලබන අතර, 2024 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සහකළ පුද්ගලයින් 20ක් රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.