නීතිපති ස්ථාවරයෙන් මහර සිරකරු ඝාතන නඩුව අවසන්

නීතිපති ස්ථාවරයෙන් මහර සිරකරු ඝාතන නඩුව අවසන්

December 17, 2024   07:31 pm

මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව අවසන් කිරීමට නීතිපතිවරයා ගත් ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව නීතිපතිවරයා අද (17) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.  

ඒ අනුව නීතිපති ස්ථාවරය අබිබවා නීති කෘත්‍යය පවත්වාගෙන යා නොහැකි මහර සිරකරු ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු කටයුතු අවසන් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා තීරණය කළේය.

ඒ, කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරයේ රැඳවියන් සිදුකළ උද්ඝෝණයට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (17) යළි කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අදාළ මරණ සිදුකිරීම අපරාධයක් වන බැවින් ඊට සම්බන්ධ වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස වැලිසර මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් කර තිබියදී, ඊට අදාළ ඉදිරි පියවර නොගෙන නඩුගොනුව වසාදැමීමට නීතිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කළේය.

"ස්වාමිනි, සාමාන්‍යයෙන් නඩු ගොනුවකට නීතිපති උපදෙස් දුන්නාට පස්සේ, යළි අධිකරණයේ කරුණු පැහැදිලි කරන්න අපි බැඳිලා නැහැ. සිද්ධිය වූ දින ගැටුම් මැඩපැවැත්වීමට නිලධාරින් කඳුළු ගෑස්, රබර් උණ්ඩ, අහසට වෙඩි තැබීම්, දණහිසෙන් පහළට වෙඩි තැබීම සිදුකර තිබෙනවා. නිලධාරින් දෙදෙනෙක් රැඳවියන්ගේ භාරයේ සිටියදී බන්ධනාගාර ගබඩාව ගිනිගෙන රැඳවියන් 107 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිදුවීමේදී රජයේ දේපළවලට වූ අලාභය මිලියන 18.5ක්. මෙහිදී බන්ධනාගාර අවි ගබඩාව කඩන්න ඉඩ තිබ්බා. ඒ වගේම බන්ධනාගාරයේ ගේට්ටුව කැඩුවානම් සිරකරුවන් 2000ම පිටතට පැනයනවා. එවැනි තත්ත්වකයි මේ නිලධාරින් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සහ බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියා කරලා තියෙන්නේ. මියගිය පුද්ගලයින්ගේ ශරීරවලින් ගන්නා ලද වෙඩි උණ්ඩ කොටස් කිසිදු ගිනිඅවියකට ගැලපීම කරන්න බැහැ. එහෙම තත්ත්වයක නීතිපතිවරයා අදාළ දිනයේ බන්ධනාගාරය තුළ රාජකාරී කළ සියලු බන්ධනාගාර නිලධාරින්ට සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට එරෙහිව චෝදනා ගොනු කරන්නද? මෙන්න මේ වගේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේ චෝදනා ගොනුකරනවා ද කියා දෙගිඩියාක් තිබුණ නිසයි නීතිපතිවරයා නඩු ගොනුව වසා දැමීමට තීරණය කළේ. නීතිපතිගේ මතය අවසානාත්මක නැහැ. අතෘප්තියට පත් පාර්ශවයන්ට අභියාචනාධිකරණයට යන්න පුළුවන්. නීතිපතිවරයාගේ මතය ස්ථිරයි. අධිකරණ තීරණයකින් හැර නීතිපතිගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. 

පසුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා කරුණු දැක්වීය.

"ස්වාමිනි නීතිපතිවරයා මේ කියන්නේ මේ සියලු මරණ නීත්‍යානුකූලයි කියලාද? නීතිපතිවරයාගේ මතය අවසානාත්මක නැහැ. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකූලද, නැද්ද කියලා තීරණය කරන්න ඕනේ නඩු විභාගයක් සිදුකරලා. නැතුව නඩුවක් නැහැ කියලා ගොනුව වහන්න බැහැ. බන්ධනාගාර ආඥා පනතින් රැඳවියන් පාලනය කරන්න මිසක් මරණය සිදුකරන්න බලය ලැබෙන්නේ නැහැ. "

දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් පසු වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විවෘත අධිකරණය හමුවේ සිය නියෝගය ප්‍රකාශයට පත්ළේය.

"මහෙස්ත්‍රාත්වරයාට නීතිපති බලය අභිබවා යන්න ව්‍යවස්ථාදායකයෙන් බලය දීලා නැහැ. නමුත් මෙම කරුණු සඳහන් කළ යුතුයි. නීතිපතිවරයා මෙහිදී කරුණු දක්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 යටතේ එන මිනී මැරීමේ වරද ගැන පමණයි. මිනි මැරීමේ වරදට සංඝටක පරිපුර්ණ නොවුනත්, 298 යටතේ නොසැලකිලිමත්කමින් මරණය සිදුකිරීම යන වරදට සංඝටක පවතින බව මේ අවස්ථාවේත් අධිකරණයේ මතයයි. කෙසේ වුවද මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදුකිරීමට අධිකරණයට බලයක් නැහැ. අගතියට පත් පාර්ශවය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව කරුණු සනාථ කිරීමේදී නීතිපති මෙම අධිකරණයේදී දැරු මතය සහ ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය දැක්වූ මතය අදාළ කරගන්න. "

ඒ අනුව නීතිපති ස්ථාවරය අභිබවා නඩු කටයුතු පවත්වාගෙන යාමට අධිකරණමය බලයක් නොමැති බැවින් මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩු කටයුතු අවසන් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා තීරණය කළේය.