මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට

මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට

December 18, 2024   07:33 am

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් පුද්ගල සිව්දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

ඊයේ (17) එම අනතුරු සිදුව තිබුණේ හලාවත, කළුතර උතුර, වැල්ලවාය සහ ඇහැළියගොඩ පොලිස් වසම්වලින්ය.

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේදී වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා ඔහුගේ දියණිය බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, බෝවත්ත, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර කළුතර - හොරණ මාර්ගයේ ගල්පාත ප්‍රදේශයේදී පාපැදියක් පැදිකරුට පාලන කරගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා ගල්පාත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 83 ක් වූ ගල්පාත, කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර වැල්ලවාය තණමල්විල මාර්ගයේ හඳපානාගල ප්‍රදේශයේදී යුද හමුදා ජිප් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, තෙළුල්ල, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ මැරේකැලේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හා පසු පැදිකරු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පදික පුද්ගලයා මියගොස් තිබේ.

පොහොරබාව, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.