නීති විරෝධීව මත් පෙති ආනයනය කළ අයෙකුට වසර 12ක සිර දඬුවම්

නීති විරෝධීව මත් පෙති ආනයනය කළ අයෙකුට වසර 12ක සිර දඬුවම්

December 16, 2024   03:16 pm

ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් 2020 වසරේ මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මෙලෙස සිර දඬුවම් නියමව ඇත්තේ කොළඹ 12  මිරානියා විදියේ පදිංචි එම්.එෆ්.එම්. ෆර්සාන් නමැති නමැති විතිකරුවෙකුටය. 

2020 වසරේ ජූලි මස 10 වනදා ප්‍රංශයේ සිට  නීති විරෝධී මත්පෙති 5716 ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ලැබීය. 

විනිසුරුවරයා මෙහිදී සඳහන් කළේ විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවය. 

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා සඳහන් කළේ වර්තමානයේ තරුණ තරුණියන් අතර මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබෙන බවය. 

එබැවින් එවැනි ක්‍රියා අධෛර්යමත් කිරීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.